සිල් රෙද්දත් මැතිවරණ තුරුම්පුවක්

·

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විහාරස්ථාන මට්ටමින් බෙදා දීම සඳහා සිල්රෙදි තොගයක් ගෙන්වා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන පවසයි.

ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන විසින් නිකුත් කර ඇති ප්‍රකාශනයක දැක්වෙන්නේ, එකක් මීටර් පහක් දිග සිල් රෙදි සඳහා රුපියල් කෝටි සීයක් වැය කරන බවයි.

ජනාධිපතිවරණ ව්‍යාපාරය අතර නීතියට පටහැණිව සිදු කරන සිල්රෙදි බෙදා හැරීම නතර කරන ලෙසයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන ඉල්ලා සිටින්නේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුගත් රනුග්ගේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ සිල්රෙදි බෙදා දීම යහපත් බෞද්ධ ප්‍රතිපදාවක් වන නමුත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් වශයෙන් එවැනි දී කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වන බවයි.

මහජන මුදලින්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැකගැනීමේ වැඩ සටහන මගින් නිකුත් කරනු ලැබ ඇති ප්‍රකාශනය අනුව ඉහත කී සිල් රෙදි ව්‍යාපෘතියට අවශ්‍ය බරපැන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මූල්‍ය ප්‍රතිපාදන සපයන්නේ වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ අනුමැතිය යටතේ .
කිහිලිකරු සිල් රෙදි ආදිය බෙදා දීම කලින් සිදු කර ඇතත් දැනට එවැනි ක්‍රියාමාර්ගයක් ගැන තමන් නොදන්නා බවයි වටිනාපහ සෝමානන්ද හිමියන් පවසන්නේ.

කෙසේ වුවද, අදාළ කාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ පොදු දේපොළ රැක ගැනීමේ වැඩ සටහන කියා සිටියි.

0 comments:

More News